පාසලේ ඉතිහාසය
සබරගමු පළාතේ ඓතිහාසික දැදිගම පුරවරයේ කෑගල්ල අධ්‍යාපන කලාපයට අයත් බෙලිගල් කෝරලයේ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය අබියස මනරම් කඳුගැටයක් මත තේජාන්විතව සුසැදි තෝලංගමුව විදු මාතාව සුවහසක් දුවා දරුවන්ගේ දස්කම් ඔප්ලංවාලන සිහල දීපයේ අභිමානවත් ශිල්පායතනයකි.රටට , දැයට , ලෝකයට විදුවතුන් තිළින කරවමින් අද 1 A B පාසලක් ලෙසින් පිදුම් ලබන සේනානි විදු මෑණිය පසු කළ ගමන් මඟ කුඩා දිය පහරකින් ඇරඹි සුන්දර නදියක් වැනිය.
1914 පාසල ආරම්භ වූ වර්ෂයයි.එදා අතහැර දමා තිබූ ගොඩනැගිල්ලක රදාවානේ රාළහාමි නමින් ප්‍රකට ප්‍රභූවරයෙකුගේ හා ගම්වාසින්ගේ ආධාරයෙන් ඇරඹූනේ සමාගම් පාසලකි.
1925 වසරෙහි පාසල රජයට පවරා ගත් අතර 1926 දී ස්ව භාෂා පාසලක් ලෙස නම් කෙරිනි.සේනානි තක්සලාව අද පවතින තැන ස්ථාපිත වූයේ 1929 පෙබරවාරි 14 වැනි දිනයි.ඒ සිංහල මිශ්‍ර පාසලක් ලෙසිනි.1942 වසරෙහි දී ග්‍රාමීය මිශ්‍ර පාසලක් බවට පත්විණි.මෙහි මූලිකත්වය කෘෂි කර්මයට ලැබුන අතර ඵලදායී ආර්ථික රටාවකට සිසුන් නැඹුරු වීම සිදු විය.