සටහන – ජේ.ඒ.අයි.යූ.ජයකොඩි (විදුහල්පති)
සබරගමුව පළාතේ ඓතිහාසික දැදිගම පුරවරයේ කෑගල්ල අධ්‍යාපන කලාපයේ වරකාපොල කොට්ඨාසයේ බෙලිගල් කෝරළයට අයත් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මනරම් කඳු ගැටයක් මත තේජාන්විතව සුසැදි තෝලංගමුව විදු මාතාව සුවහසක් දුවාදරුවන්ගේ දස්කම් ඔප් නංවාලන ශ්‍රී ලංකාවේ අභිමානවත් මධ්‍ය විද්‍යාලයකි.
තෝලංගමුව ගම්වාසීන් සහ රදාවානේ රාළහාමි නමින් ප්‍රකට ප්‍රභූන් ගේ මූලිකත්වයෙන් එවක අතහැර දමා තිබූ ගොඩනැගිල්ලක 1914 වර්ෂයේ සමාගම් පාසලක් ලෙස පාසල ආරම්භ වී ඇත.
1925 වසරේ පාසල රජයට පවරා ගත් අතර 1926 දී ස්වභාෂා පාසලක් ලෙස නම් කෙරිණි. 1926.06.14 දින සිට විදුහල්පති ධූරය හෙබවූයේ එච්.ආර්.ගුණරත්න විදුහල්පතිතුමාය.

1928.07.13 දින එච්.ආර්.ගුණරත්න විදුහල්පතිතුමා කොම්පඤ්ඤ වීදියේ පාඨශාලාවට ස්ථානමාරු ලබා ගිය බැවින් උප ගුරු එම්.ඩී.තෙන්නකෝන් මහතාට පාසලේ රාජකාරී සහ බඩු බාර දී ස්ථාන මාරු ලබා ගොස් ඇති අතර 1928.12.12 දින ආර්.ආර්.මායාදුන්නේ මැතිතුමා විදුහල්පතිතුමා ලෙස පාසලේ විදුහල්පති ධූරයේ රාජකාරි භාර ගෙන ඇත.

එතුමන්ගේ කාලයේ එනම් 1929.02.14 වන දින මෙම දැනට පාසල පවතින භූමියට පාසල රැගෙනවිත් ඇත. ඒ සිංහල මිශ්‍ර පාඨශාලාවක් ලෙස උසස් කරමිනි.

එවකට පැවති පාසැල් ගොඩනැඟිල්ල වර්තමාන ප්‍රධාන ගොඩනැගිල්ල හා විදුහල්පති නිල නිවස අතර පිහිටි ගොඩනැගිල්ලකි. 1932.08.31 දින මායාදුන්න විදුහල්පතිතුමා දොරවක පාඨශාලාවට පත්වීම් ලබා ස්ථානමාරුවීම් ගොස් ඇති අතර එදින සිට එච්.ආර්.රණසිංහ විදුහල්පතිතුමා විදුහල්පති ධූරය හොබවා ඇත.

අනතුරුව 1942 වසරේ දී ග්‍රාමීය මිශ්‍ර පාසලක් බවට උසස් කරනු ලැබූ අප විද්‍යාලය 1943 වසරේදී දානපති විජේසුන්දර රාළහාමි වෙතින් අක්කරයකට වැඩි ඉඩම් ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමත් තවත් ප්‍රදේශවාසීන් ඉඩම් පරිත්‍යාග කීපයක්ද සමග සංවර්ධනය කර ඇත.
1944 දී ස්වභාෂා මිශ්‍ර පාසලක් බවට උසස් කරන ලද අතර ඉංග්‍රීසි භාෂාව දෙවන භාෂාව ලෙස ඉගැන්වීමට ආරම්භ කරන ලදී .රජයේ අනුග්‍රහයෙන් පාසල් දරුවන්ට දිවා ආහාර වේලක් ද ලබා දුන්නේ මෙදින සිටය.
1945 ඔක්තෝබර් 22 වන දින නිදහස් අධ්‍යාපනයේ පියාණන් වන සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමාගේ මධ්‍ය විද්‍යාල සංකල්පය අනුව විජයබා මධ්‍ය විද්‍යාලය ලෙස අප පාසල ආරම්භක මධ්‍ය විද්‍යාල 54 අතරට එක් වූ අතර ප්‍රාථමික විද්‍යාලයද රජයෙන් වෙනම පාසලක් ලෙස පාලනය විය.මධ්‍ය විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිවරයා පී.තේනබදු විදුහල්පතිතුමාය.

පියසිරි ෆොන්සේකා විදුහල්පති තුමන් ගේ කාලයේ ශිෂ්‍යාවන් සඳහා නිල ඇඳුම නිර්මාණය වූ අතර විද්‍යාලයීය ගීතය සංගීත ආචාර්ය අමරසිංහ මැතිතුමා විසින් නිර්මාණය කර ඇත.
S.C.D.S.සිරිසූරිය විදුහල් පතිතුමා ගේ නායකත්වයෙන් 1964 වර්ෂයේ අග භාගයේ දී ප්‍රධාන පඩි පෙළ ඉදි කිරීම සිදුවී ඇත.
අනතුරුව 1978 .07.27 දින ප්‍රාථමික විද්‍යාලය සහ මධ්‍ය විද්‍යාලය එකතුකර ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය ලෙස නම් කරන ලදී. එම කාලයේදී විදුහල්පති ලෙස කටයුතු කලේ එල්.ඒ. ද සිල්වා මැතිතුමාය.

ඉන්පසු 1991.07.01 දින කෑගල්ල දිස්ත්‍රික්කයේ එකම ක්‍රීඩා පාසල ලෙස, ශ්‍රී ලංකාවේ නම් කරන ලද ක්‍රීඩා පාසල් 25 අතරට අප පාසලද එක්විය.

කේ.ඒ.ගාමිණී ජයතිලක විදුහල්පතිතුමන්ගේ නායකත්වයෙන් 1994 .06.23 දින අප විද්‍යාලය දැදිගම පුරවරයේ එකම ජාතික පාසල බවට ද පත්විය. මෙම කාලයේදී වර්ථමාන ශිෂ්‍ය,ශිෂ්‍යා කරපටිය (ටයි) නිර්මාණය විය.

නිදහස් අධ්‍යාපනයෙන් පියාණන් වන සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමාගේ 50 වන ගුණ සැමරුම යෙදුණු 2019.09.23 දින ආදි ශිෂ්‍ය සංගමය පූර්ණ දායකත්වයෙන් එතුමන්ගේ ප්‍රතිමාව පාසලට දායාද විය.

අද දින වන විට ශ්‍රී ලංකා දීපයේ දිදුලන මධ්‍ය විද්‍යාලයක් ලෙස සුවහසක් දරුවන්ට යහපත් අනාගතයක් සහ විශිෂ්ට පුරවැසි පරපුරක් රටට දැයට දායාද කර ඇත.
2021.06.01 දින දීය.
Leave a Reply
You must be logged in to post a comment.