Spread the love

සටහන- කමල් නෙලුම්දෙණිය (1999)

මේ කතාව මරදන්කඩවල යකඩයා ගැන නෙවේ.. සේනානියේ යකඩයා ගැනයි .සේනානියේ යකඩයා නැත්නම් මළකඩයා සෝමපාල සර්ය.. කවුරුත් එසේ කීවේ ආදරයට මිස තරහකට නොවේ..
සෝමපාල සර් ඉගැන්වවූයේ ලෝහ වැඩය. පයිප්ප වැඩ නොවේ.. නමුත් පාසලේ පයිප්ප ගැන බට ලයින් ගැන ඔහු තරම් දැන සිටි කිසිවෙකු සිටියේ නැත .ඒ බට ලයින් පයිප්ප ලයින් සාත්තු වූයේ නඩත්තු වූයේ ඔහුගේ දෑතිනි.. අපි පාසලේ දී බඩ කට පුරා පානීය ජලය බිවේඔහුට පින් සිදුවන්නටය .
මේ කතාව මළකඩයාගේ පයිප්ප වැඩ ගැන නොවේ .. ඉංජිනේරුවෙකු බිහිකළ යකඩ කනේ පහරක් ගැනයි..

1996 වසරේ අපි සේනානි 11 වසර P පන්තියේ සුවච කීකරු සාමාන්‍ය පෙළ හදාරන සිසුන් වී සිටීයෙමු. මතක හැටියට එදා එක් පීරියඩ් එකක් හිස්ව තිබුණි .. හිඩැස පුරවන්නට ආවේ වෙනදා පන්තියට නොඑන සෝමපාල සර් ය.

පාඩම ත්‍රිකෝණමිතියයි.

සර් කළුලෑල්ලේ ත්‍රිකෝණ ඇද අංගසම වීම ගැන උගන්වයි .
පිටිපස්සෙම පේලියේ සිටියේ ඩිලන්ත ,අශෝක රවීන්ද්‍ර ,කළු රුවන් රංගික ඇතුළු පිරිසකි. ත්‍රිකෝණ වල වල අංගසම වීම පැත්තක තබා උන් වෙන කාගෙද අංග සම වීමක් ගැන බර කතාවකි.. කවදත් පිටිපස්සේ ඉන්නේ මීටර නිසා උන් සර්ට වඩා අංග සමවීම ගැන හොඳින් දනී..
ඒ කවුද ඔය පිටිපස්සෙ පෝළිමේ කෑගහන්නෙ…
සර්ගෙ අවදානය..මීටර් සෙට් එක දෙසට යොමු වූයේය .. කටේ සද්දේ සැර වැඩිම උනේ ඩිලන්තයාගේය..
චුට්ටක් එන්න ඔය සුදු පුතා එළියට
ඩිලන්න්තයා සර්ට වඩා සුදු වූ නිසා මලකඩ සර්ට ඌ සුදු පුතා විය.
මාත් එක්ක චුට්ටක් පන්තියෙන් එළියට යමු
සර් පාඩම මගින් නතර කොට ඩිලන්ත හා මොහොතකට එළියට ගියේය.
කිසි සද්දයක් නැත
විනාඩියක් පමණ ගතවිය
ඩිලන්ත කිසිම සද්දයක් නැතිව බිම බලාගෙන ආපසු පන්තියට ආවේ කිසිදු කතාවකින් තොරවය.
සර් සිනහමුසු මුහුණින් පැමිණ කිසිවක් සිදු නො වුන සේ නැවත පාඩම ආරම්භ කළේය .
ඩිලන්තයාගේමුහුණ රතුව ඇස්ගෙඩි දෙක ඉදිමී ඇති බව යන්තමින් දකින්නට හැකිවිය..
මොකද බං උනේ පීරියඩ් එක ඉවර වී සර් පන්තියෙන් එළියට ගිය පසු අපි අහිංසකයා වට කරගනිමු.
මොකුත් නෑ බං
පල පල යන්න බොරු නොකියා
නෑ බං සර් නෙළුවා නෙලිල්ලක් මේ බලපං කම්මුල්.
දුන්නා බං මදි නොකියන්න
ඩිලන්තයා ආයෙ කවදාවත් ගුරුවරයෙකු උගන්වන විට කෑ ගැසුවේ නැත ..
කිසිවකුට වැරදුනේ නැත.
ඩිලන්ත පසු කලෙක කීර්තිමත් සිවිල් ඉංජිනේරුවරයෙක් විය ..රාජගිරිය ගුවන් පාලම ඉදිකිරීම භාරව කටයුතු කලේ ඔහුයි නමුත් අවාසනාවකට ගුවන් පාලම විවෘත කරන දිනයේ ම හදිසි අනතුරකින් ඔහු සිය ජීවිතයෙන් ද අප සැමගෙන් ද සමුගත්තේය..
එදා පසුපස පේළියේ සිටි . සියලුලු දෙනා අද සතුටු විය හැකි තැන්වල සිටි.
අශෝක විදුලි ඉන්ජිනේරුවරයෙකි .
රවීන්ද්‍ර පරිගණක ඉංජිනේරු වරයෙකි.
රුවන් සිවිල් ඉංජිනේරුවරයෙකු වී පසුව කම්හල් පරිපාලකයෙකු වී ඇත ..
රංගික ඇමරිකා එක්සත් ජනපදයෙ ආචාර්ය උපාධිය හදාරයි..
ඒ සර්ලා එදා අපිට ඉගැන්නුවේ එහෙමයි.
දීර්ඝායුෂ ලැබේවා සර්..

Leave a Reply